බෝම්බ හඬ නතර කර සාමයට ඉඩ දෙන්න - ලියෝ පාප් වහන්සේගෙන් ආයාචනයක්
March 8, 2026 10:44 pm
ඉරානයේ පවතින යුද්ධය වහාම අවසන් කරන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ ඉල්ලා සිටියි.
එමෙන්ම උන්වහන්සේ අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බවටය.
අද පැවති Angelus යාඥාවෙන් පසු බැතිමතුන් අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ "දැඩි කම්පනයක්" ඇති කර ඇති බවය.
"වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා," යැයි උන්වහන්සේ පැවසූ බව විදෙස් වාර්තා පවසයි.
ප්රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතු බව පාප් වහන්සේ අවධාරණය කර තිබේ.
"බෝම්බවල බයංකාර හඬ නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා." යනුවෙන්ද උන්වහන්සේ යාඥා කර ඇත.
අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමෙන් පසු ඇති වූ තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ උන්වහන්සේ, "සාමය උදා කළ හැක්කේ අන්‍යෝන්‍ය තර්ජන මගින් නොව අවංක සහ වගකිවයුතු සාකච්ඡා මාර්ගයෙන්" පමණක් බව යළිත් සිහිපත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
